කුලී ගෙවල් - තුවක්කු
ආපසු ගෝනියාවට ඇවිත් සතියක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නැවතුනාට මට ඕනවුනේ පුළුවන් තරම් ඉක්මනින් කුලියට ගෙදරක් සොයාගන්නයි. මගේ අවශ්‍යතා සරලයි - නිදන කාමර දෙකක අවශ්‍යතාව ඇරුනුකොට වෙන කිසිම සැප පහසු කමක් මම සෙව්වෙ නෑ. මම දැනගෙන හිටියා ගෝනියාවේ ඕනෑම නාගරික නිවාසෙක ඇති පහසුකම් මගේ අවශ්‍යතාව සපුරන්න ප්‍රමාණවත් බව.
මගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන ගෙවල් තුනක ලිපින මම පළමුවෙනි දවසෙම විශ්වවිද්‍යාලේ දැන්වීම් පුවරු වලින් සටහන් කරගත්තා. මේවා පිරික්සා බලන්න මම ගියේ මගේ මිත්‍ර රාහිත් සමගයි. රාහිත් මා ගැනත් මා සොයන ගෙදර ගැනත් හොඳ වැටහීමක් තිබුනා. ඒ නිසා මෙවැනි ගමනකට රාහිත් එකතු කරගැනීමට හැකිවීම මගේ වාසනාවක් කියලා මට හිතුනා.
පළවෙනි ගෙදර බලන්න ඇතුලටවත් නොගිය රාහිත් මට පොඩි අවවාදයක් දුන්නා.
“උපාලිට ගෙදරක් ඕන බව ඇත්ත. නමුත් මේ වගේ මුඩුක්කුවක ගෙදරක් ගන්න එක එදිනෙදා ජීවිතේටත් කරන වැඩ වලටත් බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අවට ගෙවල්වල මිනිස්සු දුප්පත් නිසා නෙවෙයි - හොඳට ඉර එලිය නොවැටෙන නිසාත් සද්ද බද්ද වැඩි නිසත්. මේ ගෙවල් එක එකට හොඳටම කිට්ටු නිසා ඒවා වළකන්න බෑ. අපි බලමු යුනිවසිටි එකෙන් ටිකක් ඈත එකක්…”
විනාඩි දහයක් ඇවිදලා අපි දෙවෙනි ලිපිනෙට ආවේ මේ සැරේ කොහොම හරි ගේ ඇතුල බලනවා කියලා හිතාගෙනයි. නමුත් විනාඩි දෙකකට පස්සේ හිතුනේ ‘අපරාදේ බැළුවේ’ කියලා - ගෙදර ඒ තරමට පොඩියි. කාමර දෙකක් හැටියට දැන්වීමේ තිබුනත් එක කාමරයක් හරහා තිරයක් ඇදීමෙනුයි කාමර බෙදා තිබුනේ. සිසුවෙක් හැටියට මෙවැනි තැනක නැවතීම ප්‍රශ්නයක් නොවුනත් දැන් මගේ වයසට ඊට වඩා යමක් බලාපොරොත්තු වුනා. මට ලැබෙන පඩිය සිසුවෙක් ලබන දීමනාවකට වැඩිය දස ගුනයක් පමන නිසා මීට වඩා ඉඩ ඇති තැනක් ගැනීමට මට වත්කම තියෙනවා. නමුත් මම මගේ අදහස් රාහිත්ට කිව්වේ වෙන වචන වලින්.
“මගෙ බොසා එහෙම ලඟදිම එනවා ප්‍රොජෙක්ට් එක බලන්න. මිනිහා ඉන්න දවස් වලටවත් ටිකක් ඉඩ තියෙන තැනක් සොයාගන්න ඕනෑ - නැත්තම් මට මහ කරදරේ! අනික, මිනිහට මට පෙන්වන්න ඕන ගෝනියාවේ සාමාන්‍ය ගෙදරක් - සිසුවන් ඉන්න තැනක් නෙවෙයි!”
“අපි බළමු තුන්වෙනි ගෙදරත්”
නමුත් එතන විශ්වවිද්‍යාලෙට දුර වැඩියි කියලා රාහිත් කිව්වා. මම ලිපිනය ලියාගන්නකොට හරියටම ඒ ‘උප්නගරේ’ ගැන දැනගන හිටියෙ නෑ. කිලෝමීටර් ගනනෙන් ඈත නොවුනත් රාහිත් කිව්වේ ගමනාගමන පහසුකම් අඩු නිසා ඒ ගෙදර දුර වැඩියි කියලා.
ගෙවල් සෙවීම එදාට ඇති කියලා අපි ආපසු විශ්වවිද්‍යාලෙට ආවා.
“අපිට පුළුවන් පත්තරේ දැන්වීම් බලලා ගෙදරක් සොයාගන්න… නැත්නම් යමුද ඒජන්ට් කෙනෙක් ලඟට?”
රාහිත් මෙහෙම ඇහුවේ රෑ කෑමෙන් පස්සේ නේවාසිකාගාරය ඉදිරියේ ගසක් යට ඇති බංකුවක වාඩිවෙලා අඳුරුවීගෙනයන විශ්වවිද්‍යාල භූමිය දෙස බලාගෙනයි.
“ඒජන්ට් කෙනෙක් ඇල්ලුවොත් ගාන වැඩිවෙයිද?”
“එහෙමම නෑ - ඒ අයගෙ ගාන ලැබෙන්නේ ගෙදර අයිතිකාරයගෙන්. අනික් අතට, ඒජන්ට්ලා කරන්න අවශ්‍යදේ සේරම කරලා දෙනවා”
“මොනවද… කොන්තරක් අස්සන් කරන එකද? ඒකට වැඩි වෙලාවක් යන්නෙ නෑනේ”
රාහිත් මා දිහා බලාගෙන හිටියේ කල්පනාවෙන්.
“ලංකාවේ එච්චරද කරන්න තියෙන්නේ, ගෙදරක් කුලියට ගන්න?”
“සමහරවිට තව පොඩි පොඩි දේ තියෙනවා - හුඟක් මෑත පටන්ගත්ත දේ. උදාහරන - මාස තුනක කුලිය වහාම ගෙවීම; ඒ ගානටම වගේ ඇපයක් … සමහරවිට ‘කී මනි’ කියලා ගානක් ගන්නවා… මේ සේරම සල්ලි ගනුදෙනු; නීති රෙකුලාසි නෙවෙයි; මං හිතන හැටියට.
“මෙහෙ ඊට වඩා ටිකක් වැඩ තියෙනවා. හෙට අනිද්දා ඒජන්ට් කෙනෙකුට කතාකරලා ඒවා කෙලින්ම බලාගන්න එක හොඳයි, මං කියනවට වැඩිය”
“රාහිත්ට එන්න පුළුවන්වෙයිද? මට එහෙම අහන්න කිසිම අයිතියක් නෑ නමුත්…”
මගෙ යාළුවා ටිකක කල්පනා කළා.
“මං හිතන්නේ උපාලී තනියම යන එක හොඳයි. එතකොට ඒජන්ට්ලා වැඩකරන හැටි බලාගන්න පුළුවන් කෙලින්ම. මමත් හිටියොත් ඒ අයගෙ හැසිරීම වෙනස් වෙන්න ඉඩ තියෙනවා…. මේකත් උපාලිගෙ ගවේෂණයේ කොටසක් කියලා හිතා ගන්න!”
මට දැනුනා රාහිත්ගෙ පසුබට ගතියක් - ඔහු ලඟ කවදාවත් නොදුටු දෙයක්.
“ඇත්ත තමා - තෑන්ක්යූ - මං ගිහින් ඇවිත් කියන්නම්කෝ මොකද වුනේ කියලා!”
……………………….
ඉඩකඩම් ගනුදෙනු ආයතනයක වැඩකරන මිතිලා මට හමුවුනේ පසුවදා උදේ නමයට පමන. මහ වීදියේ කන්තෝරුවක වැඩකරන ඈ වැඩිපුර කළේ ආයතනෙයේ කුලී ගෙවල් අංශයෙයි. ඇය කථාවෙන් මෙන්ම ඇඳුමෙනුත් පෙන්වූයේ කාර්යක්ෂම බවකි.
“මගෙ නම මිතිලා රාජ්. උපාලී ජයවර්දන මහතා ලංකාවේ නේද?”
“ඔවු… නමෙන් දැනගන්න පුළුවන් නේද?”
“පුළුවන්… ඒ වගේම කතාවෙමුත්. මම ලංකාවේ අයත් එක්ක වැඩකරලා හියෙනවා මීට ඉස්සරත්… කොයි වගේ ගෙදරක්ද ජයවර්දන මහත්තයා සොයන්නේ?”
“මට උපාලී කියලා කතා කරන්න… මට ඕන නිදන කාමර දෙකක ගෙදරක් විශ්වවිද්‍යාලෙට වඩා ඈත නැති තැනක. වෙනම ගෙදරක්නම් වඩා හොඳයි නමුත් වෙන ගෙදරක ඇනෙක්ස් එකක් වුනත් කමක් නෑ, මට ඕන විදිහට නිදහසේ ඉන්න පුළුවන්නම්…”
“උපාලී විතරද ඉන්නේ නැත්නම් මුළු පවුලමද?”
“මම විතරයි - මට පවුලක් නෑ නමුත් ලංකාවෙන් මිතරයෝ/හවුල්කාරයෝ ඇවිත් සතියක් දෙකක් නවතින්න පුළුවන්. ඒකයි කාමර දෙකක් ඕන. වෙන කවුරුත් නැති වෙලාවට දෙවනි කාමරේ මගෙ කන්තෝරුව හැටියට පාවිච්චි කරනවා”
“මට තේරෙන විදිහට බඩුමුට්ටුත් එක්කයි ගෙදර ඕන…. උපාලිගෙම බඩුමුට්ටු, ඇඳ පුටු, ෆ්‍රිජ් වගේ දේ තියෙනවද?”
“අපෝ නෑ…. මා ලඟ එහෙම කිසිම දෙයක් නෑ!”
“බලමු සුදුසු ගෙවල් මොනවද තියෙන්නේ කියලා….”
මිතිලා කොම්පියුටර් තිරයට සම්පූර්නෙන්ම හිත යොමුකරගෙන ඇඟිලි යතුරු පුවරුව උඩ වේගෙන් හැසිරුවේ හැකිතාක් ඉක්මනින් රාජකාරිය නිමකරන්න ආසා කෙනෙක් වගෙයි. විනාඩි පහකට විතර පස්සේ ඈ හිස ඔසවා මා දෙස බැළුවේ හිනා වකින් මුව සරසාගෙනයි.
“උපාලිට හරියන ගෙවල් කීපයක්ම තියෙනවා… කොයි වගේ කුලියක්ද ගෙවන්න බලාපොරොත්තුව?”
හොඳ වෙලාවට මම රාහිත් එක්ක මේ ගැන කතා කරලා තිබුනා. මම ගෙවීමට කැමති උපරිම කුලියත් ඊට අඩු ‘දැරීමට කැමති’ කුලියත් මිතිලාට දුන්නා.
“ඒ අවශ්‍යතා අනුව හොඳම ගෙවල් තුන බලමුද? ඕන නම් දැන් මගෙ කාරෙකේ යන්න පුළුවන්”
අපි බලපු පළවෙනි ගෙදරම මට හොඳටම ඇල්ලුවා. නමුත් ආපු නිසා අනික් ගෙවල් දෙකත් බැලුවට මගේ හිත හැදිලා ඉවරයි ඒවා බලනකොට. මුහුදට මීටර දෙසීයක් පමන ඈතින් තිබුන ඒ ගෙදර වට පොඩි මල් පාත්තිත් සෙවන දෙන (ගෙඩි නැති) ලොකු අලිපේර ගහකුත් තිබුනා. ගෙදරයි වත්තෙයි පිරිසිදු කමෙන් මට පෙනුනේ මෙහි අයිතිකාරයෝ ගෙදර හොඳින් නඩත්තු කරන බවයි. මගේ ‘දැරීමට කැමති’ මිලට වඩා වැඩිවුනත් වත්කම අනුව ගෙදර කුලිය දරාගැනීමට මට හැකියි කියලා හිතුනා. මට ඕනවුනේ හැකිතරම් ඉක්මනින් ගෙට පිවිසෙන්නයි. ඒ අනුව මම මිතිලගෙ කන්තෝරුවට ගියේ ඕන ලියකියවිලි අදම අස්සන් කරන බලාපොරොත්තුවෙනුයි.
“පාස්පෝට් එක?”
මිතිලා අත දික්කළා.
“ඒක කාමරේ”
මිතිලා ටිකක් වෙලා මා දිහා බලාගෙන හිටියේ පොඩි හිනාවකින් මුව සරසාගෙනයි.
“උපාලී ගෝනියාවේ ගෙදරක් කුලියට අරගෙන නෑ නේද මීට ඉස්සර?”
“නෑ”
ලාච්චුවෙන් කඩදාසි ගොන්නක් එලියට ගත්ත මිතිලා කතා කරන්න පටන් ගත්තේ ඒ කඩදාසි දිහා බලාගෙනයි.
“ගෝනියාවේ ගෙදරක් කුලියට ගන්න නියත ක්‍රියාමාර්ගයක් ආන්ඩුවෙන් සලසා දීලා තියෙනවා. මේ ක්‍රියාමාර්ගයට මූලාකරණය ගෙවල් හිමියොත් කුලී ගෙවන්නොත් එක ලෙස ආරක්ශා කරගැනීමයි. උපාලිට වගේම ගෙහිමියටත් යම් යම් නීත්‍යානුකූල වැඩකොටස් තියෙනවා. මම කරන්නේ මේ කර්තව්‍ය දෙගොල්ලටම ලේසි කරන්නයි”
“ලේසි වැඩක් නෙවෙයි වගේ… මගෙන් කෙරෙන්න ඕන දේ ලයිස්තුවක් මට දුන්නොත් ඒ ටික මම අද හෙටම කළොත් කොච්චර කල් යයිද පදිංචියට ගන්න?”
“හ්ම්…. උපාලිම කරනවානම් මාසයක් දෙකක් යයි… ගෝනියාවේ කෙනෙක් - උපාලිගෙ යාළුවෙක් එහෙම - කරනවානම් සති තුන හතරකින් පුළුවන්…. මම කළොත් සතියයි. හැබැයි ඒ උපාලිගෙන් කෙරෙන්න තියෙනදේ කෙරුනාම”
“ඇයි මට ඒ තරම් කල් යන්නේ? ඇයි ගෝනියාවේ කෙනෙකුට කල් යන්නේ?”
“ක්‍රියාවලිය නොදන්න නිසා… මේක මගෙ රස්සාව නිසා මම දන්නවා කෙටිම මාර්ග!”
“ඒ සේවයට මම කීයක් ගෙවන්න ඕනද?”
“ඒක ගෙවන්නේ ගෙදර අයිතිකාරයා. ගාන රහසක් නෙවෙයි - සතියක කුලිය. ගෙදර හිමියට ඒක ලාබයි ඉක්මනට ගෙදර කුලියට දෙන නිසා”
“මොනවද ඔයතරම් කරන්න තියෙන්නේ?”
“මම පුරවන්න තියෙන පෝර්ම සේරම දැන් දෙනවා උපාලිට…. පොලිස් වාර්තාවට තමා කල් යන්නේ”
“පොලිස් වාර්තා? ගෙදරක් කුලියට ගන්න? මාර වැඩක් නේ!”
…………………………….
පෝර්ම හතරක් පුරවලා, උප්පැන්නෙයි පාස්පෝට් පිටු කීපෙකයි (වීසාවත් පෙනෙන්න) කොපි, පත්වීමේ ලිපියේ කොපි එහෙමත් එකතු කරලා කඩදාසි මිටියක් මිතිලට බාරදීලයි හවස යාළුවෝ කීපදෙනෙක් එක්ක බීර විදුරක් බොන්න ගියේ.
“මෙහෙ ගෙදරක් කුලියට ගන්න එක තුවක්කුවක් ගන්න තරම්ම අමාරුයි!”
ඒකට මම බලාපොරොත්තුවුන ප්‍රතිචාරය ලැබුනෙ නෑ. සමහරවිට මෙහෙ පුද්ගලික තුවක්කු නැතුව ඇති කියලා මට හිතුනා. ඉස්සරවෙලාම කතාකළේ රාහිත්ගෙ යාළුවෙක් - මම මීට ඉස්සර හමුවෙලා නැති කෙනෙක්. එයත් ටිකක් කල්පනා කරලා, බීර උගුරකුත් බීලයි කතාකළේ.
“ඇයි තුවක්කුවක් ඕනද?”
මේ කළු රවුලක් වවාගෙන ඉන්න උස මහත මනුස්සයා චංඩියෙක්ද, හොරෙක්ද, කුඩු කාරයෙක්ද නැත්නම් පොලිස් ඔත්තුකාරයෙක්ද කියලා මට සැකයක් ඇතිවුනා. කවුරුත් මොකුත් නොකිව් නිසා එයා ආයෙත් කතා කළා.
“එහා හංදියේ තුවක්කු කඩ දෙකක් තියෙනවා. හයට ඉස්සර ගියොත් අදම ගන්න පුළුවන්…. ටික කාලෙකටනම් මගෙ හතරෙන් එකක් දෙන්නම්”
රාහිත්ට තේරුනා මෙතන පොඩි වැටහීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා.
“උපාලිට තුවක්කුවක් ඇත්තටම ඕන නෑ නේද? සැමී හිතලා උපාලිට ඇත්තම එකක් ඕනෑ කියලා!”
“මට කියන්න ඕනවුනේ මෙහෙ ගෙදරක් කුලියට ගන්න එක අමාරුයි කියලා - තුවක්කුවක් ඕන කියලා නෙවෙයි! ලංකාවේ තුවක්කුවක් ගන්න එක හරිම අමාරුයි - බොහොම සුළු ගනනකට තමා පෞද්ගලික තුවක්කු තියෙන්නේ. ආන්ඩුවෙන් ගිනිඅවි බලපත්‍ර හොඳටම සීමා කරලා තියෙන්නේ.”
“ඒ ඇයි?”
“අපරාධ අඩුකරන්න”
මගෙ යාළුවෝ - කාලයක් හඳුනන අයයි අළුතෙන් හමුවුන අයයි - වටපිට බලනවා මගෙ උත්තරේ නොතේරුනා වගේ. ඒ අයගේ ප්‍රතිචාර දැක්වුනේ ප්‍රසිද්ධ රැස්වීමකදී වගේ - හැමෝම අදහස් ඉදිරපත්කළා.
“අපරාධ කරන්නේ මිනිස්සු මිස තුවක්කු නෙවෙයි”
“මං හිතන්නේ මිනිස්සුන්ගෙ ගතිගුන හොඳනම් අපරාධ නෑ - මේ ගතිගුන ප්‍රශ්නේ විසඳුවොත් අපරාද ප්‍රශ්නෙත් විසඳෙනවා නේද?”
“අපරාධ නවත්තන්ට පුළුවන් අපරාධ කරන අයට නේද?”
“ඔය ගිනිඅවි බලපත්‍ර සීමාකරන නීති වැඩ කරන්නේ නීති ගරුක අය අතර විතරයි - නීති ගරුක නැත්නම් බලපත්‍ර නීතිය කඩන එක ප්‍රශ්නයක් වෙයි!”
“ඒක තව ටිකක් හිතලා බැළුවොත්…. බලපත්‍ර සීමාකරන නීති නිසා නීති ගරුක අය තමාගේ තුවක්කු ආන්ඩුවට බාර දෙනවා. එතකොට නීතිය උල්ලංඝනය කරන අය ඕන තරම් තුවක්කු තියාගන්නවා…. අංතිමට රටේ බලයත් උන්ට නේද යන්නේ?”
අදත් මගේ ගවේෂණයට වැදගත් කරුණු කිහිපයක් එක්වුන බව මට දැනුනා. මගේ මිත්‍රයන්ගේ අදහස් ගල්කැට මෙන් එක එක ගොඩවුනත් එයින් බැඳෙන්නේ ශක්තිමත් තාප්පයක් බව දකින්න තියෙනවා. මේ තාප්පයේ කොන් ගල වන්නේ “නීති මාර්ගයෙන් පමනක් අපරාධ මර්දනය කරන්න බෑ” යන්නයි.